Featured news thumbnail

14th ඔක්. 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ දෙවන දිනය අදයි.

සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛව සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමණයට දැනුම බෙදා ගනී...

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව (78th Session of WHO Regional Committee for South-East Asia) ඊයේ (13) පෙරවරුවේ කොළඹ දී ආරම්භ විය. ඊයේ (13) සිට (15) වන දින දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ දෙවන දිනය අදයි. බිලියන දෙකකට ආසන්න ජනතාවක් ජීවත් වන අග්නිදිග ආසියානු කලාපය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම මෙම කලාපීය කමිටු සැසියේ දී කලාපීය සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන ප්‍රමුඛතා වන අතර අද (14) පෙරවරුවේ සියලු සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ජාවක් පවත්වන ලදී.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය පිළිබඳව දීර්ඝ ලෙස මෙහි දී සාකච්ජාවට භාජනය වූ අතර සියලු සාමාජික රටවල සෞඛ්‍ය විශේෂඥයින්ගේ දැනුම ඇතුළු එමරටවල ක්‍රියාත්මක සෞඛ්‍ය ක්‍රමවේදයන් පිලිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ජා විය. එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විශේෂඥයින් තම රටවල ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛව සෞඛ්‍ය සේවාව පිලිබඳව අත්දැකීම් ද මෙහි දී බෙදාගන්නා ලදී. මෙම විශේෂ සාකච්ඡාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා විසින් මෙහෙයවනු ලැබීය. දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අවධාරණය කර සිටියේ මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛ සෞඛ්‍ය සේවාව විශිෂ්ඨ මට්ටමක පවතින බවයි. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැඩි කැපවීමෙන් රෝග කිහිපයක් මෙරටින් තුරන් කිරීමට හැකි වූ බවත් සිහිපත් කල අමාත්‍යවරයා බෝනොවන රෝග, වැඩිහිටි ජනගහනය ඇතුළු අංශ කිහිපයක් පිළිබදවත්, සමස්ත සෞඛ්‍ය පද්ධතියේ සංවර්ධනය කෙරෙහි ද විශේෂ අවදානයක් යොමු කරමින් කටයුතු කරන බව ද පැවසීය. මෙරට සුවපත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් රජයේ නව්‍ය වැඩපිළිවෙලක්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් අවධාරණය කළ අමාත්‍යවරයා විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යාම සඳහා සහෝදර සාමාජික රටවල අදහස් යෝජනා බෙහෙවින් ඉවහල්වන බව ද වැඩිදුරටත් පැවසිය. මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් (Dr. Tedros Adhanom Ghebreyesus) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන්, සාමාජික රටවල සෞඛ්‍ය විශේෂඥයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

පුවත් වෙත ආපසු