Featured news thumbnail

28th අගෝ. 2025

2025 ජාතික ප්‍රතිශක්තීකරණ සමුළුවට අඳාළ තාක්ෂණික වාර්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට භාරදෙයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රතිශක්තීකරණ වැඩසටහන මෙරට මහජන සෞඛ්‍ය ජයග්‍රහණයන් හි ප්‍රමුඛතම සංධිස්ථානයක් ...

- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස-

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රතිශක්තීකරණ වැඩසටහන මෙරට අත්පත්කර ගෙන ඇති මහජන සෞඛ්‍ය ජයග්‍රහණ වල ප්‍රමුඛතම සංධිස්ථානයක් වන බවත්, 2030 ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය ප්‍රතිශක්තීකරණ න්‍යාය පත්‍රය මඟින් නියමකර ඇති ගෝලීය ප්‍රතිශක්තීකරණ ඉලක්ක සපුරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිබඳව ම කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය. අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා අංශය, එක් ව පසුගිය මාර්තු මාසයේ පවත්වන ලද 2025 ජාතික ප්‍රතිශක්තීකරණ සමුළුවේ දී ගන්නා ලද නිගමනයන් ඇසුරින් සම්පාදනය කරන ලද වාර්තාව භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් ය. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා මහතා විසින් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මෙම වාර්තාව නිල වශයෙන් අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී. මෙරට ජනතාවට යහපත්, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සහ සෞඛ්‍ය තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා එන්නත්කරණ ප්‍රවේශය පුළුල් කිරීමට, ඊට නව තාක්ෂණය ඒකාබද්ධ කිරීමට සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කරන බවත්, ඒ සඳහා මේ වන විට දැඩි අවධානයකින් යුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී අවධාරණය කර සිටියේ ය. මෙම තාක්ෂණික නිර්දේශ, සැලසුම් මෙරට ක්‍රියාත්මක ජාතික එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලබන තීරණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බෙහෙවින් ඉවහල් වන අතර ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්ති රාමුවක් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම මෙමඟින් ඉස්මතු වේ. අනාගතයේ දී එන්නත් හඳුන්වාදීම සහ එන්නත් මඟින් වැළැක්විය හැකි රෝග ආවේක්ෂණය ශක්තිමත් කිරීම සඳහා ද මෙම වාර්තාව බෙහෙවින් ඉවහල්වනු ඇතැයි මෙහි දී අනාවරණය විය. වසර දහයකට පසුව මෙරට පැවැත් වු මෙම ජාතික ප්‍රතිශක්තීකරණ සමුළුවට ලෝක සෞඛ්‍ය සංවිධානය, GAVI එන්නත් සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) යන ආයතනවල සහයෝගීතාවය ද ලැබී තිබිණ. සෞඛ්‍ය පරිපාලකයින්, විශ්ව විද්‍යාලවල අංශ ප්‍රධාන මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන්, සෞඛ්‍ය විද්වතුන්, වි‌ශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, සිවිල් සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් ඇතුළුව විෂයට අදාළ විද්වතුන් 175 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම 2025 ජාතික ප්‍රතිශක්තීකරණ සමුළුව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එන්නත් භාවිතා කිරීම 1886 වර්ෂයේ දී වසූරිය රෝගය වැළැක්වීම සදහා වසූරිය එන්නත ලබා දීමත් සමග ආරම්භ කර ඇති බවත්, 1978 වර්ෂයේ දී මෙරට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙස ආරම්භ කර ඇති බව සෞඛ්‍ය දත්ත සඳහන් කරයි. 2028 වර්ෂයට එම වැඩසටහනට වසර 50 ක් සපිරෙයි. මෙම අවස්ථාවට Unicef සංවිධානයේ මෙරට නියෝජ්‍ය නේවාසික නියෝජිත බෙගෝනා අරෙලානෝ (Ms. Begona Arellano), එහි සෞඛ්‍ය හා පෝෂණ කළමණාකරු වෛද්‍ය අබ්නර් ඩැනියෙල් (Dr Abner Daniel), සෞඛ්‍ය හා පෝෂණ නිලධාරී වෛද්‍ය ධම්මිකා රොවෙල්, වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් වන ශෂීපබා වික්‍රමසිංහ, නිමල් ගලගෙදර, ප්‍රභා අබේකොන්, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුවත් වෙත ආපසු