Featured news thumbnail

6th සැප්. 2025

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කරන ලද අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය ජනතා අයිතියට පත් කෙරේ. රජයේ රෝහල් 15ක් සදහා අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර...

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) මගින් ආසාධිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කරන ලද අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය (Incinerator) අද (05) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානතවයෙන්, නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. ජපාන පුරවැසියන්ගේ සහ ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස ජපන් යෙන් මිලියන 503 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ ඉහත උත්සවයට සමගාමීව මෙරට තවත් රජයේ රෝහල් 14 ක ආසාධිත අපද්‍රව්‍ය කළමණාකරණ ඒකක පිහිටුවීමටද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, ඒ අනූව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට අමතරව රත්නපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල් දෙකටත්, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, හම්බන්තොට,මන්නාරම සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් පහටත්, රිකිල්ලගස්කඩ, මහියංගනය, පුත්තලම,මීරිගම, මැදිරිගිරිය,වැලිකන්ද යන මූලික රෝහල් හයටත්, නාකුලුගමුව දිසා රෝහලෙත් මෙම අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර ස්ථාපි කර ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයෙන් පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 162 ක් දහනය කිරීමේ හැකියාව ඇත. මෙවැනි යන්ත්‍ර 05ක් සහ පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 58 ක් දහනය කළ හැකි යන්ත්‍ර 10 ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් ය. රෝහලේ අවශ්‍යතාවය අනූව මෙම යන්ත්‍ර ස්ථාපනය කර ඇත. ජපාන රජයේ කාරුණික සහයෝගය ඇතිව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහට ලබා දී ඇති නව දාහක යන්ත්‍රය රෝහල් අපද්‍රව්‍ය ආරක්ෂිතව කළමනාකරණය කිරීමට සහ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට මහෝපකාරී වනු ඇති බවත්, විවෘත කරන දාහක යන්ත්‍රය හුදෙක් යන්ත්‍රයක් පමණක්ම නොවන බවත්, එය මිත්‍රත්වයේ, සහයෝගීතාවයේ සහ තිරසාර සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය කැපවීමේ බෙදාගත් ප්‍රගතියේ සංකේතයක් බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවැසීය. මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිය වෙනුවෙන් බොහෝ ක්ෂේත්‍රවලදී ජපන් රජය උපකාර කර ඇති බවත්, මහරගම ජාතික පිළිකා ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහල සහ ලේඩි රිජ්වේ ළමා රෝහලේ සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩිදියුණු කිරීම් සඳහා ද කටයුතු කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා ජපන් රජය ලබාදෙන සහයෝගය ඇගයීමට ලක් කරන බව ද පැවැසීය. 2022 ඔක්තෝම්බර් මාසයේදී ජපානය MRI සහ CT ස්කෑනර් ඇතුළුව යෙන් මිලියන 800 ක් වටිනා වෛද්‍ය උපකරණ කොළඹ ජාතික රෝහලට සහ රාගම ශික්ෂණ රෝහලට ලබා දුන් බව ද මෙම යන්ත්‍ර රෝගී ජනතාවගේ ජිවිත බේරා ගැනීම සදහා මේ වන විටත් ක්‍රියාත්මක බව ද පසුගිය දුෂ්කර කාලයේ දී ජපානය ද ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 කට වඩා ලබා දුන් බව ද ඉන් ඩොලර් මිලියන 46 ක් අපගේ රෝහල් සඳහා ඉන්ධන සැපයුම් පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන ලද බව දපෙන්වා දෙන ලදි. ඒ හා සමානව ම ජපානයේ සහාය ඇතිව මෙරට සෞඛ්‍ය අංශයේ ව්‍යාපෘති කිහිපයක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. එම ව්‍යාපෘති ලෙස දිවයින පුරා හෘද රෝග සේවා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (H&MSIP). පළාත් සහ ශික්ෂණ රෝහල්වල රෝග විනිශ්චය සේවා වැඩිදියුණු කිරීම ඇතුළුව සෞඛ්‍ය සේවා පහසුකම් සහ උපකරණ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය. අපද්‍රව්‍ය කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය. විශේෂයෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය, බෝවන රෝග පාලනය සහ බෝ නොවන රෝග කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ධාරිතා වර්ධනය සහ පුහුණුව සඳහා JICA සහාය දක්වන වැඩසටහන් පෙන්වා දිය හැකි බව ද මෙම අඛණ්ඩ උත්සාහයන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට ජපන් ආධාර ලබා දීම අතීතයට අයත් දෙයක් පමණක් නොවන බවත්, අදටත් මෙරට ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන ජීවමාන සහ පරිණාමය වන හවුල්කාරිත්වයක් බව ද පැවසීය. එමෙන්ම ජපානයේ සහයෝගය සෞඛ්‍ය අංශයෙන් ඔබ්බට ද ගොස් ඇති බවත්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ සිට මහනුවර නගර අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය මෙන්ම බොහෝ මාර්ග සහ ජල සැපයුම් ව්‍යාපෘති දක්වා ජපානයේ දායකත්වයන් ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ වැදගත් අංගයක් බවට පත්ව ඇති බව ද අවධාරණය කරන ලදි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස, ජපාන ජනතාවට සහ රජයට ඔවුන්ගේ ශක්තිමත් සහයෝගය වෙනුවෙන් ස්තූතිවන්ත වන බවත්, අපගේ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමට සහ රටේ සෑම ප්‍රදේශයකටම වඩා හොඳ ප්‍රතිකාර ලබා දීම සඳහා අනාගත ව්‍යාපෘති සඳහා ජපානය ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම ‌‌‌අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමණ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සඳමාලි ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ

පුවත් වෙත ආපසු