8th අගෝ. 2025
ශ්‍රී ලංකාව අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටක් වුව ද, නේවාසික ප්රතිකාරවලින් 95% කට වඩා සහ බාහිර රෝගී සත්කාර සේවා වලින් අඩක් පමණ රජය විසින් නොමිලේ සපයනු ලබයි... ශ්‍රී ලංකාවේ සියයට 67 ක් වන සාර්ව සෞඛ්‍ය ආවරණ දර්ශකය යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ තුළ තවත් ඉහළට ඔසවා තබනු හැකි වනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. “සාර්ව සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage – UHC) සඳහා සෞඛ්‍ය සේවා සැපයීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය” සහ “සෞඛ්‍ය ප්රතිපත්තිවල ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ප්රවාහයට ගෙන ඒම සඳහා වන මාර්ගෝපදේශය” විශ්ලේෂණය කිරීමේ වාර්තාව එළිදැක්වීම අද (08) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී සිදු විය.
සියලු ජනතාවට ප්‍රමාණවත් මෙන් ම සෞඛ්‍ය ආරක්ෂාවක් සහිත ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා සමාන ප්‍රවේශයක් ඇති බව සහතික කිරීම මෙම මාර්ගෝපදේශ විශ්ලේෂණය කිරීමේ වාර්තාව එළිදැක්වීමේ අරමුණ විය. මෙහිදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙම වාර්තාවේ ප්‍රථම පිටපත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගන්වන ලදි. “සාර්ව සෞඛ්‍ය ආවරණය සඳහා සෞඛ්‍ය සේවා සැපයීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය විශ්ලේෂණය කිරීම” සහ “සෞඛ්‍ය ප්රතිපත්තිවල ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ප්රවාහයට ගෙන ඒම සඳහා වන මාර්ගෝපදේශය” වාර්තා එළිදැක්වීම සාර්ව සෞඛ්‍ය ආවරණ ප්රවේශයේ වැදගත් සන්ධිස්ථානයක් බවත්, එය මෙරට සෞඛ්‍ය පද්ධතියේ සමානාත්මතාවය, සියලු දෙනා ඇතුළත් වීම සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා වන කැපවීම පිළිබඳ ප්‍රකාශයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අවධාරණය කරන ලදි. සෞඛ්‍ය ක්ෂේත්රයේ ජයග්‍රහණ වෙනුවෙන් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති බවත්, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටක් වුව ද, නේවාසික ප්රතිකාරවලින් 95% කට වඩා සහ බාහිර රෝගී සත්කාර සේවා වලින් අඩක් පමණ රජය විසින් නොමිලේ සපයනු ලබන බවත්, පෙන්වා දුන් අමාත්‍යවරයා මාතෘ හා ළමා සෞඛ්‍ය, ප්‍රතිශක්තිකරණය සහ රෝග තුරන් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ දර්ශක කැපී පෙනෙන සාක්ෂි බව ද මෙහි දී පෙන්වා දෙන ලදි. එහෙත්, මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගතය, අතීත ජයග්‍රහණ මත පමණක් ගොඩනගා ගත නොහැකි බව ද සාර්ව සෞඛ්‍ය ආවරණය සඳහා වන ප්‍රතිපත්ති විශ්ලේෂණ වාර්තාව අපගේ ප්‍රතිපත්ති පිළිබඳ කාලෝචිත හා පුළුල් සමාලෝචනයක් ඉදිරිපත් කරන බවත්, එය සාර්ව සෞඛ්‍ය ආවරණයන් හි මූලික මූලධර්ම වන සාධාරණත්වය, ගුණාත්මකභාවය, මූල්‍ය ආරක්ෂාව සහ ප්‍රවේශය සමඟ ශ්‍රී ලංකාවේ සාර්ව සෞඛ්‍ය ආවරණය සඳහා වන ප්‍රතිපත්තියේ පෙළගැස්ම සනිටුහන් කරන බව ද අමාත්‍යවරයා පැවැසී ය. ශ්‍රී ලංකාවේ සාර්ව සෞඛ්‍ය ආවරණය දර්ශකය දැනට 67 ක් වන අතර එය දකුණු ආසියාව සඳහා සාමාන්‍යයට වඩා ඉහළ අගයක් ගන්නා බවත්, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් ශ්‍රී ලංකාවට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයන් වාර්තා කර ඇති බැවින් අපට බොහෝ දුර යා යුතුව තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි. එයට හේතුව අපේ රටේ උප දර්ශක කිහිපයක් අඩු මට්ටමක පැවතීම බවත්, ඊට අඩු ක්ෂය රෝග ප්‍රතිකාර සාර්ථකත්ව අනුපාත, අධි රුධිර පීඩනය ප්රශස්ත නොවන ලෙස පරීක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම, ළමුන් තුළ ශ්වසන රෝග සඳහා සීමිත සත්කාර අපේක්ෂාවන් සහ සෞඛ්‍ය ශ්‍රම බලකා ඝනත්වයේ අඩුපාඩු ඇතුළත් වන බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම දර්ශක පමණක් වැඩිදියුණු කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශ්වීය සෞඛ්‍ය සේවා ආවරණ දර්ශකය සැලකිය යුතු ලෙස වෙනසකට ලක්වනු ඇති බව ද පෙන්වා දෙන ලදි. මෙහි දී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වන බවත්, කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක් තුළ 5000 සිට 10,000 දක්වා ජනගහන කණ්ඩායම්වලට සේවය කරන ප්‍රාථමික ප්‍රජා සත්කාර ඒකක (PCCU) ස්ථාපිත කිරීම තුළ ප්‍රවේශ්‍යතාව වැඩි කිරීමට, අමතර වියදම් අඩු කිරීමට සහ ජනතාව කේන්ද්‍ර කරගත් ආකෘතියක් තුළ සත්කාර අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කළ හැකි බව ද පැවසී ය. ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික සත්කාර අතර බාධාවකින් තොරව යොමු කිරීමේ යාන්ත්‍රණයක් සහතික කරමින් රජය මෙම ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම කැපවී කටයුතු කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවලිය හොඳින් විශ්ලේෂණය කර ක්‍රියාත්මක කිරීම සිදු කරන බව ද මෙම යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ තුළ මෙරට සාර්ව සෞඛ්‍ය ආවරණ සේවා ආවරණ දර්ශකය තවත් ඉහළ මට්ටමට ඔසවා තබනු හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි. මෙම ප්‍රතිසංස්කරණ සමඟින්, අද වන විට සෞඛ්‍ය ප්රතිපත්තිවල ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ප්රවාහයට ගෙන ඒම සඳහා අද දින මෙරටේ පළමු වරට මාර්ගෝපදේශයක් දියත් කරන බව ද මේ දක්වා සෞඛ්‍ය ප්‍රතිපත්තියට ස්ත්‍රී පුරුෂ භාවය සලකා බැලීම් ඒකාබද්ධ කිරීම සඳහා ව්‍යුහගත රාමුවක් ශ්‍රී ලංකාවට නොතිබුණූ බව ද පෙන්වා දෙන ලදි. මෙම මාර්ගෝපදේශය නිර්මාණය කර ඇත්තේ එම පරතරය පිරවීම සඳහා බවත්, සියලුම සෞඛ්‍ය ප්‍රතිපත්ති ස්ත්‍රී පුරුෂ භාවයට ප්‍රතිචාරාත්මක හෝ ස්ත්‍රී පුරුෂ භාවයට පරිවර්තනය කළ හැකි බව සහතික කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්ට ප්‍රායෝගික මෙවලම් සහ මඟ පෙන්වීමක් එය විසින් සපයනු ලබන බව ද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි. සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, අවදානමට නිරාවරණය වීම සහ සෞඛ්‍ය ප්‍රතිඵල කෙරෙහි ස්ත්‍රී පුරුෂ භාවය ඇති කරන ගැඹුරු බලපෑම එමගින් හඳුනා ගැනෙන් බවත්, වැදගත් වන්නේ මෙම අසමානතාවයන් කල්තියා විසඳීම සඳහා සෞඛ්‍ය කළමනාකරුවන්ට කුසලතා සහ දැනුම ලබාදීම බවද ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලුම අධ්යක්ෂ මණ්ඩල සහ වැඩසටහන් මෙම මාර්ගෝපදේශය අනුගමනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ප්‍රතිපත්ති සංවර්ධනය, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීමේ දී ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සලකා බැලීම් සම්මත භාවිතයක් බවට පත්වීම අත්‍යවශ්‍ය වන බවද අවධාරණය කරන ලදි. මෙම වැදගත් කාර්යය සඳහා සඳහා දායක වූ සියලුම පාර්ශවකරුවන්ට ස්තූතිය පුද කරන බවත්, මෙහි දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දැක්වූ නායකත්වය විශේෂයෙන් ඇගයීමට ලක්කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසී ය. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අධ්යක්ෂ ජනරාල්වරුන් ඇතුළු නිලධාරීන් ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය රුයි පවුලෝ ද ජේසුස් (Dr. Rui Paulo de Jesus), ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක ෆර්නාස් මලික් (Ms.Farnaz Malik), ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක එමිලි මයර්ස් (Ms.Emily Myers), ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පිළිබඳ විශේෂ වැඩසටහනේ ප්‍රතිපත්ති සහ හවුල්කාරිත්ව ප්‍රධානී වෛද්‍ය ෂම්ස් බී සයිඩ් (Dr. Shams B. Syed), මහජන සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සහ ස්ටෙලන්බොෂ් විශ්ව විද්‍යාලයේ අතිවිශේෂ කථිකාචාර්ය හෙන්රිච් සිරිල් වොල්මින්ක් (Dr. Heinrich Cyril Volmink) මෙන්ම UNICEF, UNFPA, WHO නියෝජිතයින්, මෙරට පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරුන්, රෝහල් සහ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.