3rd සැප්. 2025
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (02) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ - University Hospital – Kotelawala Defence University (UH-KDU) නිරීක්ෂණයක නිරත විය.
නවීන ශික්ෂණ රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල අනාගත වෛද්‍ය වෘත්තිකයන් ද පුහුණු කරමින් සුවිශේෂී රෝගී සත්කාර සේවාවන් සපයනු ලබන රෝහලක් වන අතර, එම රෝහල මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයත්, මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම මෙන්ම ඒ සම්බන්ධව පවතින ගැටළු සොයාබැලීමත් සහ රෝහලේ ඉදිරි දැක්ම සහ අරමුණු යථාර්ථවත් කිරීම උදෙසා අදහස් හා යෝජනා සාකච්ඡා කිරීම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මෙම විශේෂ නිරීක්ෂණයේ අරමුණ විය. ඒ අනුව රෝහලේ නවීන තාක්ෂණික උපකරණවලින් යුත් දන්ත වෛද්‍ය අංශය, පිළිකා රෝග අංශය, රසායන ව්‍යාධිවේදී අංශය, ශල්‍යාගාර, දැඩ්සත්කාර එ්කක, රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය, හෘද උරස් හා දැඩි සත්කාර ඒකකය, රසායනාගාර, කිමෝ තෙරපි ඒකකය සහ නේවාසික රෝගී වාට්ටු මෙන්ම රෝහල සතු වෙනත් පහසුකම් ද සිය නිරීක්ෂණයට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහල් පාලනාධිකාරිය සමග රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වයත්, පවතින ගැටළු සහ ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳවත් විශේෂ සාකච්ඡාවක ද නිරත විය. එම සාකච්ඡාවේ දී හෘද උරස් ඒකකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල අතර අවබෝධතා ගිවිසුම, සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අවබෝධතා ගිවිසුමක් ඇති කර ගනිමින් රජයේ රෝහල් වෙත කැත් රසායානාගාර පහසුකම් ව්‍යාප්ත කිරීමේ ඇති හැකියාව, පූර්ණ කාලීන උපදේශක විකිරණවේදියෙකුගේ අවශ්‍යතාව, ස්වස්ථා පද්ධතියට පූර්ණ ප්‍රවේශය, රෝහල් පරිශ්‍රයට ඔසුසලක අවශ්‍යතාවය, ඖෂධ, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් තුළින් ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතාවයන් ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා සිදු කරන ලදි. මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලද්දේ රෝගීන් කේන්ද්‍ර කරගත් බහු-විශේෂිත විශ්ව විද්‍යාල රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ප්‍රමිතීන්ට අනුකූලව, ඉහළ කැපවූ වෘත්තිකයන් හරහා උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා,අධ්‍යාපනය සහ පර්යේෂණ ලබාදීමට කටයුතු කිරීම මෙරට සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවයට මනා පිටුහලක් වන බවත්, කාර්ය මණ්ඩල පුරප්පාඩු පිළිබඳව ද අවධානය යොමු කරමින් දැනට රෝහල මගින් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් ප්‍රශස්ත මට්ටමකට ගෙනඒම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. වෘත්තීයභාවය සහ නවෝත්පාදනය තුළින් රෝගීන්ගේ සහ සමාජයේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම රෝගී කේන්ද්‍රීය විශ්ව විද්‍යාල රෝහල වීම සිය දැක්ම කර ගනිමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව, ශල්‍යකර්ම, ළමා රෝග, නාරිවේදය සහ ප්‍රසව වෛද්‍ය විද්‍යාව සහ මනෝචිකිත්සාවේ සිට උසස් හෘද රෝග, පිළිකා, විකලාංග, මුත්‍රා විද්‍යාව, අක්ෂි වෛද්‍ය විද්‍යාව (ඇස), උගුර, නාසය සහ තවත් රෝගී සත්කාර සේවාවන් රැසක් පිළිබඳව පුළුල් පරාසයක විශේෂතා සේවා ලබා දෙයි. රෝහල සතුව නවීන තාක්ෂණයෙන් උසස් ශල්‍යාගාර, විශේෂිත රසායනාගාර, අති නවීන හෘද රෝග ඒකකයක්, MRI සහ සීටී පරීක්ෂණ වලින් ද යුක්ත වන මෙම රෝහලෙහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මහජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමෙන් ප්‍රජාවට සේවය කිරීමට ඇති කැපවීමයි. ගෙවන කාමර 50 ක්, VIP Suite 02 ක්, Deluxe Suite 04 ක් ඇතුළුව ඇඳන් 889 කින් රෝහල සමන්විත වේ. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ. ධම්මික කුමාර, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පී.එන් ද කොස්තා යන මහත්වරු ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ පාලන අධිකාරිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.