Featured news thumbnail

9th සැප්. 2025

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වත්මන් සෞඛ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය.

නැගෙනහිර පළාතේ රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට MRI යන්ත්‍රයක්. ඖෂධ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් වෙනසක් සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වත්මන් සෞඛ්‍ය සේවාවන් හි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා පසුගිය දා පියවර ගන්නා ලදි. ඒ අනුව 494,971 ක ජනගහණයකින් යුතු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පවත්වනට යෙදුණි.

එක් මහ රෝහලක්, මූලික රෝහල් 04 ක්, ප්‍රාදේශීය රෝහල් 14 ක්, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒ්කක 17 ක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 12 ක් වශයෙන් ක්‍රියාත්මක දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වත්, ඉදිරි සැලසුම්, ක්‍රියාත්මක ව්‍යාපෘති, පවතින අඩුපාඩු, ගැටළු පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට මෙහිදී පියවර ගත් අතර, දිස්ත්‍රික්කයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කරන ලදි. පැවැති සාකච්ඡාව අතර තුර නිලධාරීන් පෙන්වා දෙන ලද්දේ නැගෙනහිර පළාතට මෙන්ම දිස්ත්‍රික්කයට අත්‍යාවශ්‍යව පවතින සහ සෞඛ්‍ය සේවා ලබාදීමේ දී මහත් අඩුපාඩුවක්ව පවතින MRI යන්ත්‍රයක දැඩි අවශ්‍යතාවයක් ඇති බවයි.

එ් පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කඩිනමින් MRI යන්ත්‍රයක් ලබාදීමට පියවර ගන්නා බවත්, යන්ත්‍රය ස්ථාපිත කිරීමට අවශ්‍ය ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරමින් ලබන ජනවාරි මස වන විට එම සේවාව නැගෙනහිර පළාතේ ජනතාවට ලබාදීමට අවශය පියවර ගන්නා බව ද අවධාරණය කරන ලදි. ඖෂධ සහ ශල්‍ය උපකරණ වල පවතින ගැටළු සහගත තත්ත්වයන් නිරාකරණයට අදාළ ආයතන මැදිහත්ව කටයුතු කරන බවත්, සැපයුම්කරුවන්ගේ දුර්වලතාවය ද ඊට හේතු සාධක වී ඇති බවත්, නොවැම්බර් මස අවසන් වන විට එම තත්ත්වය පාලනය කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදි පැවසීය. ඖෂධ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් වෙනසක් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා සිදු කරන බවත්, පළාතේ පවතින ප්‍රාදේශීයව පැන නැගෙන ගැටළු ජාතික මට්ටමේ ප්‍රශ්ණ දක්වා වර්ධනය වීමට ඉඩ නොදී කඩිනමින් විසඳාගැනීමට පියවර ගන්නා ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. තව ද ඉදිරියේ දී සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රදේශයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගත හැකි වනු බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය, සේවා සැපයීම සහ කාර්ය සාධනය, මානව සම්පත් ගැටළු, අපේක්ෂිත මානව සම්පත් කළමනාකරණ ගැටළු, මූල්‍ය ගැටළු, රේඛීය අමාත්‍යාංශයෙන් අරමුදල් වෙන් කිරීම, වාහන විස්තර, රෝග නිවාරණ සත්කාර ක්‍රියාකාරකම් සහ හදිසි අවශ්‍යතාවයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ටී.ඒ.සී.එන්.තලංගම, පළාත් සෞඛ්‍ය ‌ලේකම් එච්.ඊ.එම්,ඩබ්.ජී දිසානායක, අණ්ඩුකාර ලේකම් අරූල් රාඡ්, යන මහත්වරුන් මෙන්ම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රධානීන්, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

පුවත් වෙත ආපසු