ඔබගේ අදහස්‍ postmaster@health.gov.lk විද්‍යුත් තැපෑලට ඉදිරිපත් කරන්න

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පුර්ණ ස්වාධීන විගනනයක් සිදුකර ඉන් පසු වැඩ ආරම්භ කරමු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමා පැවසීය 2018-11-12

 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පුර්ණ ස්වාධීන විගනනයක් සිදුකර ඉන් පසු වැඩ ආරම්භ කරමු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමා පැවසීය.
 
අමාත්‍යවරයා එසේ පැවසුවේ අද (11) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසු පැමිණි සිටි පිරිස අමතමිනි.
අමාත්‍යවරයා එහිදී මේසේ පැවසීය,
 
ඔබ ඇමතීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා. මම සාමාන්‍යයයෙන් තනතුරු හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. තියෙන තනතුරත් අතහරින කෙනෙක්. කෙසේ වෙතත් මේ අවස්ථාව අනුව ලබා දුන් මෙම තනතුර ප්‍රතික්‍ෂේප කිරීමට මට හැකියාවක් තිබුනේ නැහැ. තමුන්නාන්සේලා වර්ථමාන තත්වය දන්නවා. මේ තත්වය ගැන මම කථා කරන්න යන්නේ නැහැ. 07 වෙනිදා කොටුව මහෙස්ත්‍රාත් උසාවියේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්තුමා ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු තමුන්නාන්සේලාට දැන ගන්න ලැබුණොත්, මේ රටේ ඇති වෙන්න ගියපු අති භයානක කුමණ්ත්‍රනය පිළිබදව හා ලේ වැගිරීමක් පිළිබදවත්, හොද අවබෝදයක් ලබා ගන්න පුලුවන්. එම නිසා තමයි අති ගරු ජනාධිපතිතුමාට සිද්ධ උනේ මේ තත්වය ඇති කිරීමට. රටේ යහපතටත්, ජනතාවගේ යහපතටත් එතුමාට මේ තීරණය ගැනීමට සිදුවුනා. ඒ අනුව අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මම මේ ස්ථානයට අවේ ජනතා සේවකයෙක් හැටියට, අපි ඔබ සැම දනොම  ජනතාවගේ සේවකයෝ. ජනතාව අපෙන් විශාල සේවයක් බලාපොරොත්තුවෙනවා. හිටපු අමාත්‍යතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබදව විශේෂ ප්‍රකාශයකුත් කළා. නව ලේකම් තුමියත් මෙම සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබදව මනා දැනුමක් ,අවබෝදයක් ඇති නිළධාරිණියක්. මේ ක්‍ෂේත්‍රයට ලේකම් තුමියත් , මමත් අළුත් නිසා කාගේවත් කේලාම් හා ඕපාදුප අහන්නේ නැතිව යතාර්ථවාදීව අපිට ඉදිරියට වැඩ කරන්න පුල්වන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි සැම කෙනෙක්ම අසරණවෙන්නේ අපි ලෙඩඋනාම. ඒ නිසා අපි හැමෝම මතකතියාගන්න ඕනේ අපි අසනීප වෙනවා, දුර්වල වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවට  අපිට පිහිට වෙන්න ඉන්නේ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කාර්ය මණ්ඩලයයි. මම මේ මෑතකදී ගාලු මහ රෝහලට ගියා ලෙඩෙක් බලන්න. ඉතින් ඒ වෙලාවේ ඒ ලෙඩා ඉන්න වාට්ටුව හොයා ගන්න මම බොහොම මහන්සිඋනා. ඉතින් මම එහි වැඩ කරන සේවකයන්ගෙන් ඇහුවා ඒ අයටත් ස්ථානය කියන්න බැරි උනා. තවත් දවසක් ගියා පිළිකාවක් හැදුනු රෝගියෙක් බලන්න. හරියට ඒක භූත ගුහාවක් වගේ. ඉතින් සමහර වෙලාවට මම දැකලා තියෙනවා කාන්තා රෝහල් වලට ගිහාම එක ඇදේ දරුවන් තුන්දෙනා ගානේ ඉන්නවා. ඉතින් මේවා පිළිබදව අපේ සැලකිල්ල වැඩියෙන් යොමු කරන්න ඕනේ. මම දැක්කා මම එනකොට කාසල් වීදියේ තියෙන රෝහල, එතන බිලියන 06 යි ගානකට හැදෙනවා විශාල රෝහලක්. ඉතින් මම නම් හිතන්නේ ඒ ගොඩනැගිල්ල හදන වියදමින් දරුවන් ලැබීමට ඉන්න අම්මලාට හොද සුව පහසු විදිහට ඉන්න ඒ මුදල් වෙන් කරනවා නම් බොහොම පින් කියලා. ඒ නිසා මම ලේකම් වරියගෙන් ඉල්ලනවා මේ පිළිබදව අවදාන යොමු කරලා අමාත්‍යාංශයකට වඩා ජනතාවට වැඩ ඇති දේවල් මේ තුලින් ඇති කරන්න කියලා. ඒ වගේම හම්බන්තොට තියෙනවා රෝහලක් දැනට ඒ රෝහල විවෘත්ත කරලා අවුරුදු 3 ක් පමණ වෙනවා. එයින් ජනතාවට ලැබෙන ප්‍රතිලාබයක් නම් නැති බවයි පෙනෙන්නේ. ඉතින් අපි ඒවා සම්පුර්ණ කරමු, වාද බේද අත් හරිමු, අපිට කවරුත් එකයි, සෑම නිළධාරියෙකුටම තියෙන වගකීම එකයි, ඉතින් අපි එක් මවකගේ දරුවන් වාගේ අපිට පැවරෙන මේ කාර්යන් කෙටි කාලයක් හෝ දිග කාලයක් හෝ අපි අවංකව ජනතාවට සේවය කරමු. මම ලේකම්තුමියගෙන් ඉල්ලා සිටිනවා අපි අමාත්‍යාංශයේ සම්පුර්ණ ස්වාධීන විගනනයක් කරමු කියන එක. ඉන් පසුව අපි වැඩ ආරම්භ කරමු යැයි අමාත්‍යවරයා පැවසීය.
 
 පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා
 
මේ රටේ දුප්පත් මිනිස්සු එන්නේ අපේ ආරෝග්‍ය ශාලාවලට.අපි ඒ අය බලා ගන්න ඕනා යැයි ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය. මම මේ අවස්ථාවට සහභාගි විම පිළිබද සතුටු වෙනවා.  මා  හිතමිත්‍ර  චමල් රාජපක්ෂ මැතිතුමා අද සෞඛ්‍ය ඇමති විදියට වැඩ භාරගෙන වැඩ ආරම්භ කරන බව ඊයේ මට  කතාකරලා කිව්වා. තවත් අපේ සගයෝ කිප දෙනෙක් මේ වෙලාවටම වැඩ භාර ගන්නවා. නමුත් මම කල්පනා කෙරුවා මේ උත්සවයට සහභාගිවන්න ඕනේ කියලා. එකක් එතුමත් මමත් අතර තිබෙන සම්බන්ධතාවය. අනික මම වරක් අමාත්‍ය ධූරයක් මෙම ස්ථානයේ දරපු නිසා. එතුමාත් මමත් පාර්ලිමේන්තුවට ආවේ එකට 1989. අද පාර්ලිමේන්තුවේ ඉන්න ඉතා අතලොස්සක් තමා අපේ  එදා පාර්ලිමේන්තුවට ආව සගයෝ.  එතුමා එදා කතානායක වශයෙන් භාරධුර කටයුත්තක් දරලා අද මේ අමාත්‍යාංශය භාර ගැනිම පිළිබද  සතුටුවෙනවා. මම 2000 වර්ෂයේ කම්කරු ඇමතිවරයා වශයෙන් ඉන්නකොට මේ දෙපාර්තමේන්තුවේ යම් යම් ප්‍රශ්ණ ආවා.  විශාල වශයෙන් කාර්මික ආරවුල් ආවා.  වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයක් නිමාවනකොට සාත්තු සේවකයින්ගේ වැඩ වර්ජනයක් අවා. ඊලගට සුළු සේවකයින්ගේ වැඩ වර්ජන. මේක දිගින් දිගටම  දිගින් දිගටම පැවතුනා. මේ ආයතනයේ   දවසක් එදා හිටපු ජනාධිපතිනිය කතා කරලා කිව්වා ඔයාට පුළුවන්ද සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගන්න කියලා. ඒ වේලාවේ ඇමතිවරයා වුනේ මගේ මිත්‍ර නිමල් සිරිපාල ද  සිල්වා ඇමතිතුමා. මම ඒ වෙලාවේ ඇත්තටම කැමති වුනේ නෑ ඒ වෙලාවේ  මැතිණිය නිමල් ඉන්නවානෙ එහෙම තියෙද්දි මම කොහොමද යන්නේ කියලා කිව්වා.  නෑ  නෑ ඔයා යන්න එතන පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියනවා කියා ඇය කිව්වා. ඒ නිසා මම ආවා. ඇවිල්ලා මම අමාත්‍යාංශය භාර අරගෙන වැඩ කටයුතු ආරම්භ කරන්න පටන්ගනිද්දිම මට හැම කෙනාගෙම සහයෝගය ලැබුනා. එකම වැඩ වර්ජනයක්වත්, වෛද්‍ය වරුන්ගේ වැඩ වර්ජනයක්, සාත්තු සේවකයින්ගේ වැඩ  වැඩවර්ජනයක් වත් තිබුනේ නැහැ, එක වරුවක් විතර අපේ හාමුදුරුවන්ගේ වැඩ වර්ජනයක් තිබුනා, ඒකත් අපි කතා කරලා එක වරුවෙන් විසදා ගත්තා. අපිට පුළුවන්කමක් තිබුනා බොහොම කාර්මික සමගියක් ඇතිව සියලුම සේවකයින්ගේ සහයෝගය ඇතිව මේ රටට ඒ සේවාව ලබාදීමට.  කාර්මිකයන්ගේ සහයෝගය ඇතිව මේ රටට ඒ සේවාව ලබාදිමට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් කිව්වා වගේ ඉතා විශාලම සේවා අයතනයක්. මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු එන්නේ අපේ ආරෝග්‍ය  ශාලාවලට. ඒ මිනිස්සුන්ට වෙන විකල්පයක් නෑ. දුප්පත් මනුස්සයා කොහේට යන්නද?  ඒ නිසා ප්‍රශ්ණ තියනවානම් අපි විසදන්නත් ඕනේ. විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ වේවා අනිකුත් සේවකයින්ගේ වේවා ඒ ප්‍රශ්ණ මැද්දේ ජිවත් වෙන්න බෑ. ඒ අයටත් තමන්ගේ ප්‍රශ්ණ විසදගෙන  ඒ අයගේ පුද්ගලික ජීවිතය ගතකරන්න ඒ අයටත් ඒ අවශ්‍ය ශක්තිය හා සහයෝගය ලබලා දෙන්න‍ ඕනේ.  එහෙම උනොත් අපිට පුලුවන් වෙන්නේ ඒ අයගේ සේවය ලබාගන්න. මේ දර්ශණය තමා අපි එදා අනුගමනය කලේ.  මම සන්තෝෂ වෙනවා මෙම  අමාත්‍යාංශය චමල් මහතාට වැඩකටයුතු කරන්නට දීම ගැන. අපිත් සහයෝගය ලබා දෙනවා‍ එතුමාට.
 
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය වසන්තා පෙරේරා මහත්මිය
 
මේ රටේ සෞඛ්‍ය තත්වය ලෝකයේ තිබෙන බොහෝ රටවලට වඩා දියුනුයි, ඉතාම දක්‍ෂ වෛද්‍යවරුන් පිරිසක් සිටිනවා යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය වසන්තා පෙරේරා මහත්මිය පැවසීය.
 
මේ අමාත්‍යාංශයේ අභිනව අමාත්‍ය වරයා හැටියට පත්වුනු චමල් රාජපක්‍ෂ මැතිතුමා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ  සියළුම ආයතන හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් මෙම අවස්ථාවේදී මා පිළිගනු ලබනවා. අනිල් ජාසිංහ මහත්මයා කීවා වගේ මම මේ ධූරයේ වැඩ භාර අරගෙන තවම පැය කිහිපයයි. හරියටම දවසක් සම්පුර්ණවුනා විතරයි. නමුත් මම කිහිප දෙනෙක් හමු වුනා, සාකච්ඡා වට කිහිපයක් තිබ්බා. ඒ හැම  දෙයකින්ම මා දැක්කේ සේවයට කැපවුනු දක්‍ෂ නිළධාරීන් පිරිසක් සිටින බවයි. ඒ හැමෝම සමගම සහයෝගයෙන් වැඩ කිරීම තමයි මා අපේක්‍ෂා කරන්නේ. අපි විශාල රාජකාරියකට කැප වෙලා තියෙනවා. අපි බේද නැතිව සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද, කියලා සාකච්ඡා කරලා ඉදිරියට හොද වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තුවෙනවා. පිට කෙනෙක් හැටියට මෙම අමාත්‍යාංශයේ වැඩ බාර ගත්තත්, සෞඛ්‍ය අමාත්‍යාංශය හා මේ රටේ සෞඛ්‍ය සේවය දෙස බලපුවාම මා සෞඛ්‍ය සේවාව දුටුවේ මෙහෙමයි. ලොකයේ තියෙන බොහෝ රට වලට වඩා ඉතාම දියුණු තත්වයේ සෞඛ්‍ය සේවාවක් ලංකාවට තියෙනවා. ඒ ගැන මා ආඩම්බර වෙනවා. ඉතාම දක්‍ෂ ලොව ඕනෑම තැනක කැපී පෙනෙන දක්‍ෂ වෛද්‍යවරුන් පිරිසක් අපිට සිටිනවා. ඒ වගේම ලොව ප්‍රථම සෞඛ්‍ය සේවාවන් අතර ලංකාව වාර්ථා වෙනවා. අපිට ආඩම්බර වෙන්න පුළුවන්  දේශීය වෛද්‍ය සේවාවක් අපිට තියෙනවා. මේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය අපිට ආවේනික වු වෛද්‍ය ශාස්ත්‍රයක්. ඒ වගේම අපට සිටිනවා දක්‍ෂ හෙද සේවයක් හා දක්‍ෂ රෝහල් කාර්ය මණ්ඩලයක්. ඔවුන් ඉතාමත් කැපවීමෙන් වැඩ කරන කොටසක්. හොද රෝහල් පද්ධතියක් අපිට තියෙනවා. සෞඛ්‍ය සේවාව හමුවේ අභියෝග රාෂියක් තිබෙනවා. ඒ අභියෝග ජය ගැනීම සදහා ඔබ තුමා වැනි දක්‍ෂ හා පරිනත කවුරුත් ගරු කරන අමාත්‍ය වරයෙක් යටතේ සේවය කරන්න ලැබීම මා ලද මහත් භාග්‍යක් ලෙස සලකනවා. යැයි ද ලේකම්තුමිය පැවසීය.
 
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
 
මේ රටේ සෞඛ්‍ය ආයතන දාහකට වැඩි ප්‍රමාණයක් තිබෙනවා.පඩි නඩි ගෙවිමට පමණක් රුපියල් බිලියන 6.5ක් පමණ වැය වෙනවා යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
 
ඔහු තවදුරටත් මෙසේ පැවසීය. ගරු ඇමතිතුමනි මෙම ශාලාව ඉතාම කුඩයි.මේ ශාලාවෙන් බාහිරවයි වැඩි පිරිසක් සිටින්නේ.නමුත් අපිට මීට වැඩිය පිරිසක් රදවා ගැනීමට හැකියාවක් නැහැ. මම විශේෂයෙන්ම අභිනව සෞඛය අමාත්‍යතුමා පිලිබදව හදුන්වා දෙන්න යනවානම් ඒක විහිළුවක් බවට පත් වෙනවා.මොකද චමල් රාජපක්‍ෂ මැතිතුමා කියන්නේ ලංකාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙක්.වචන දෙකකින් කියනවානම් එතුමා මේ රටේ වගකීම් රාශියක් මේ දක්වා ඉටු කරපු නායකයෙක්.එතුමා වරාය හා නාවික ගරු අමාත්‍යතුමා හැටියටත්, විශේෂයෙන්ම මේ රටේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියටත් විශේෂ කාර්යයක් කරනු ලැබුවා.මේ වගේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මේ සෞඛය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට පත් වීම පිළිබදව සතුටට පත් වෙනවා.මොකද සෞඛ්‍ය කියන්නේ ඉතා සංකීර්ණ විෂයක්.විවිධ ගැටුම් සහ ගැටළු සමග යන විෂයක්.මේ වගේ තත්වයක ඹබතුමා වැනි හැමෝටම උපදෙස් දෙන්න පුළුවන් නායකයෙක් සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත්වීම පිළිබදව ඉතාම සතුටට පත් වෙනවා.ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තම රටේ ප්‍රධානතම අමාත්‍යාංශයක්. මෙහි දිග පළල බොහොම සුවිසල්. අපගේ කාර්ය මණ්ඩලය, පලාත් සභා කාර්ය මණ්ඩලය සමග එකතු කරලා ගත්තොත් එක් ලක්ෂ තිස්පන්දාහක් පමණ වෙනවා. ඒ වගේම මේ රටේ සෞඛ්‍ය ආයතන දාහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. රේඛීය අමාත්‍යාංශයේ පමණක් පඩි නඩි ගෙවීමට පමණක් බිලියන 6.5ක් වැය වෙනවා.රටේ අමාත්‍යාංශ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ ගතිකත්වයක් තිබෙන Dynamic එකක් තිබෙන ආයතනයක්.ඒ වගේම රටේ ජනතාවගේ අන්තිම පල්ලෙහා මට්ටමට කිදා බහින සේවයක් ලබා දෙන අමාත්‍යාංශයක්. ජනතාව ඉතා උවමනාවෙන් වැළද ගන්නා සේවයක්.ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපිට විශාල වගකීමක් තියෙනවා රජයේ ප්‍රතිපත්තීන්ට අනුව මේ රටේ මුළුමහත් ජනතාවට ඒ සෞඛ්‍ය සේවය ලගා කර දීම සදහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම. ඒ වගේම ඒ සදහා අවශ්‍ය කරන ක්‍රියා පිළිවෙත් නැංවීම. ඒ වගේම ගරු අමාත්‍යතුමනි මේ සෞඛ්‍ය විෂය ගත්තම ඒක හුදෙක් ලංකාවට සීමා වෙලා නැහැ.මේකට අපි ජාත්‍යන්තරව විශාල වශයෙන් සම්බන්ධ වෙනවා.මේ විෂයෙහි පරිපාලනමය මෙහෙයුමක් මෙන්ම අති දැවැන්ත තාක්ෂණික මෙහෙයුමක් තියෙනවා.ඒ වගේම මේ සදහා විශාල පිරිසක් මේ අමාත්‍යාංශය තුල සිටිනවා.අපට ආධාර කරන, අප සමග තාක්ෂණික දැනුම හුවමාරු කරන අපට තාක්ෂණික දැනුම ලබා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම වෙනත් ජාත්‍යන්තර ආයතන හා කණ්ඩායම් මේ අමාත්‍යාංශය සමග අත්වැල් බැදගෙන ඉන්නවා. ඉතින් අමාත්‍යාංශයක අමත්‍යවරයා හැටියට ඔබතුමා පත්වීම පිළිබදව අප සතුටු වන අතර මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබතුමාව මෙම අමාත්‍යාංශයට ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ හැලහැප්පීම් වලට භාජනය වන විවිධ වෙනස්කම් වලට භාජනය වන විවිධ භූමිකා රග දක්වන අමාත්‍යාංශයක් බවට පත් වෙනවා. අපට විශාල සේවක සංඛ්‍යාවක් සේම විශාල සේවක කාණ්ඩ සිටිනවා. විශේෂඥ වෛද්‍යවරයාගේ සිට පල්ලෙහාට. මෙහි දී අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා ඒ සියළුම සේවක කාණ්ඩ, වෘත්තීය සමිති. මේ රටේ අවසාන වශයෙන් සේවය ලබා ගන්නා ඉතා දුප්පත් මිනිසාගේ සෞඛ්‍ය තත්වය ගැන හිතලා ඉතාම උනන්දු වෙලා කටයුතු කළ යුතුයි. මේ අවස්ථාවට සහභාගී වන ගරු ජෝන් සෙනවිරත්න මැතිතුමා,එතුමා අපේ හිටපු ගරු සෞඛය අමාත්‍යතුමෙක්. දීර්ග කාලීන පලපුරුද්දක් තියෙන.එතුමා විශාල සේවයක් ඒ කාලය තුල කලා. එතුමා ඇතුළු නම් නොකියපු මැති ඇමතිවරුන් සියළු දෙනාමත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඊයේ දිනයේ මෙම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා හැටියට වසන්තා පෙරේරා මැතිනිය වැඩ බාර ගත්තා. එතුමියවත් මේ අවස්ථාවට ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.
 
මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානයක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිවු.ඩී.ජේ.සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙලගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේදා ජී. ජයසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ෂණී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා,  සෞඛ්‍ය සේවා අධක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ  ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.