ඔබගේ අදහස්‍ postmaster@health.gov.lk විද්‍යුත් තැපෑලට ඉදිරිපත් කරන්න

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

“බන්ධනාගාර රැදවියන් සමාජගතවීමේ දී නිවැරදි පුද්ගලයින් ලෙස සමාජගත විය යුතුයි. බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැදවියන් පිළිබදව ද සමීක්ෂණයක් සිදු කළ යුතුයි.” සුව ඇමැති පවසයි. 2018-07-09

වෛද්‍ය නිමාලි විඡේවර්ධන මහත්මිය විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ මානසික දාහය පිළිබදව සිදු කළ විද්‍යාත්මක සමීක්ෂණයක අන්තර්ගත කරුණු පිළිබදව බන්ධනාගාර නිලධාරීන් දැනුවක් කිරීමේ වැඩමුළුවක් සහ එම සමීක්ෂණ වාර්තාව පිළිගැන්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දී පැවැත්විනි.

මෙම සමීක්ෂණයට අනුව බන්ධනාගාර නිලධාරින්ගෙන් 1/3 කට ආසන්න සංඛ්‍යාවක් මානසික දාහයෙන් පෙළෙන බව අනාවරණ වී ඇත. නිලධාරීන්ගෙන් සියයට 38.8 ක් පෞද්ගලික නිපුණත්වය අඩුවීම පිළීබද හැගීමකින් පෙළෙන බව අනාවරණ වී තිබේ. මානසික වෙහෙස ගතිය පෙන්නුම් කළ ප්‍රතිශතය සියයට 28.6 කි. තමන්ගේ සේවාලාභීන් කෙරෙහි ඝෘණාත්මක හැගීම් ඇතිවීම හා ඔවුන්ගෙන් ඇත්වීම අත්දුටු ප්‍රතිශතය සියයට 26.9 කි. බන්ධානාගාර නිලධාරීන් සහ පුනරුත්ථාපන නිලධාරින් 1803 ක් සමීක්ෂණයට සහභාගි වී ඇත. එහිදී බන්ධානාගාර නිලධාරීන් ලෙස ප්‍රධාන වශයෙන්ම සහභාගි කරගෙන ඇත්තේ නියාමකවරුන්ය. වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය හා ඒකකය, මහර, දුම්බර, අධි ආරක්ෂිත බන්ධනාගාර, ගාල්ල, බූස්ස, පොළොන්නරුව, බදුල්ල, වාරියපොල, කුරුවිට, කළුතර, මීගමුව සහ කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාර, කන්දෙවත්ත, වීරවිල, වටරැක, කුරුවිට, වාරියපොළ යන වැඩ කදවුරුවල ද පල්ලේකැළේ එළිමහන් සිරකදවුර, අඹේපුස්ස පබෝධා මෙත් සෙවන, පල්ලන්සේන තරුණ වරදකරුවන් සදහා වූ විශෝදන මධ්‍යස්ථානය, වටරැක තරුණ වරදකරුවන් සදහා වූ පුහුණු මධ්‍යස්ථානය, කොළඹ නව මැගසින් බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ සිරිමැදිරි 11 ක සේවය කරන බන්ධනාගාර නිලධාරීන් මෙම සමීක්ෂණයට දායක කරගෙන ඇත.


මෙම වැඩමුළුව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයා“පොලීසිය, හමුදාව වගේම බන්ධනාගාර නිලධාරීන් ද වගකීමක් දරනවා. කායික මෙන්ම මානසික ප්‍රශ්න ද ඇති වෙනවා. නමුත් පොලීසිය හා හමුදාව පිළිබදව කථා කළත් බන්ධනාගාර නිලධාරින් බන්ධනාගාර ගත වී තිබෙන තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. රැදවියන්ගේ සම්පුර්ණ වගකීම, අරගල පාලනය කිරිම ඇතුලු රාජකාරී කටයුතු රැසක් බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරනවා. විද්‍යාත්මක පර්යේෂණ මගින් ලබාගන්නා දත්ත මත තීන්දු තීරණ ගැනීම ඉතාම වැදගත්. කිසියම් පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත තීන්දු තීරණ ගැනීම සාර්ථක නැහැ. එවැනි පර්යේෂණ මත ලබාගන්නා තීන්දු තීරණ හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ මානසික තත්ත්වය ගොඩනැගෙන විට රැදවියන්ට ද හොද තත්ත්වයක් උදා වෙනවා. නිලධාරීන්ගේ මානසික ආතතියට පිළියම් යෙදිය යුතුයි. බාල වයස්කාර රැදවියන් ද සිටිනවා. ඔවුන් සමාජගතවීමේ දී හරිමග යාම ඉතාම වැදගත්. නිවැරදි පුද්ගලයින් ලෙස සමාජගත විය යුතුයි. බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැදවියන් පිළිබදව ද සමීක්ෂණයක් සිදු කළ යුතුයි. එමගින් රැදවියන් මුහුණ දී ඇති ගැටලු හදුනාගන්න පුළුවන්.”


මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, ලෝක බැංකුවේ සෞඛ්‍ය පිළිබද ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය දීපිකා ආට්ගල, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය  ජානකී විධානපතිරන, අධ්‍යක්ෂ මානසික සෞඛ්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එන්.සී ධනසිංහ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.


නිපුන් ඒකනායක,

ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්